Loading..

චනිත්මාට සම්මානය නොදුන් හේතූව සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ඉකුත් 19 වන දා පැවති වර්ණ ප්‍රදානෝත්සවයේදී ශිෂ්‍යාවකට සම්මානයක් ලබා නොදීම හේතුවෙන් නිර්මාණය වූ ගැටලුව සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනියගෙන් කරුණු විමසා ඇත.

ඒ එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැවගේ කැඳවීමකට අනුවයි. එහිදී ඉසුරුපායට පැමිණි විදුහල්පතිනි සුමේධා ජයවීර වර්ණ ප්‍රදාන උත්සවයේදී 2023 සහ 2024 වර්ෂයන්ට අදාළව සම්මාන පිරිනැමූ ආකාරය පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව ඇය පවසා ඇත්තේ වසර 07කට පසුව මෙම වර්ණ ප්‍රදාන උත්සවය සංවිධානය කළ බවත් ක්‍රීඩිකාවකට එක් වරක් පමණක් හිමි වන විශිෂ්ටතම ක්‍රීඩිකාව යන ශීර්ෂය යටතේ සම්මාන ප්‍රදානය කිරීමේදී නිර්ණායක කිහිපයක් සලකා බැලූ බවත්ය.

එබැවින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි ඉසව්වකින් ලබා තිබීම, සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම, ලංකාවේ පාසල් ගණනාවක ක්‍රීඩා තරගවලට සහභාගී වීම, සමස්ත ලංකා වාර්තාවක් සමග ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම යන නිර්ණායක සම්මානයට නිර්දේශ වූ ක්‍රීඩිකාවන්ට කල්වේලා ඇතිව දැනුම් දුන් බව ද එහිදී විදුහල්පතිනිය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ගැටලුව ඉදිරිපත් කළ ස්කොෂ් ක්‍රීඩිකාව (චනිත්මා සිනලි) මේ වන විට ආදි ශිෂ්‍යාවක් බවත් ඇය එම උත්සවයේදී සජිවීව ගැටලුකාරි පරිසරයක් නිර්මාණය කිරීම අනුමත කළ නොහැකි බවත් විදුහල්පතිනිය සඳහන් කර ඇත.

එසේම අඳාළ ශිෂ්‍යාවගේ හැසිරීම හේතුවෙන් පාසලේ කීර්ති නාමයට හානියක් සිදු වූ බවත් මෙමගින් ඉදිරි පරම්පරාවට වැරදි ආදර්ශයක් ලබා දී තිබෙන බවත් විදුහල්පතිවරිය පෙන්වා දී තිබෙනවා.

තවද ස්කොෂ් ක්‍රීඩිකාවට සම්මානය නොලැබුණේ, එම සම්මානයට සුදුසුකම් නොලැබුණු නිසා මිස පෙරහුරුවට නොපැමිණි නිසා නොවන බවත් ඇය පෙරහුරුවට නොපැමිණිය ද වර්ණ සහ විශේෂ සම්මානයක් පිරිනැමූ බවත් විදුහල්පතිනිය සඳහන් කර ඇත.

විශිෂ්ටතම ක්‍රීඩිකාව සම්මානය ජයග්‍රහණය කළ නභාෂි පෙරේරා අති දක්ෂ පිහිනුම් ශූරියක් බවත් ඇය දෙස් විදෙස් තරග රැසක් ජයග්‍රහණය කර ඇති බවත් විදුහල්පතිවරිය එහිදී පවසා ඇත.

එමෙන්ම මෙම සම්මාන උත්සවයට පෙර සියලුම වර්ණ හා සම්මානලාභීන්ගේ මව්පියන් වෙනුවෙන් උත්සවය පැවත්වෙන ආකාරය පිළිබඳව හා වර්ණ ප්‍රදානය කරන ආකාරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ බවත් එම අවස්ථාවේදී ශිෂ්‍යාවන් හෝ මව්පියන් ගැටලුවක් ඉදිරිපත් නොකළ බවත් විදුහල්පතිනිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනියගෙන් මූලික අදියරේ කරුණු විමසීමක් මෙසේ සිදු කළ බවයි.

එමෙන්ම වර්ණ ප්‍රදාන උත්සවයේදී සම්මාන ලබා දුන් ආකාරය ඇතුළත් වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසටද ඇයට දැනුම් දුන් බව ද නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවා.

(source – mawbima)

The post චනිත්මාට සම්මානය නොදුන් හේතූව සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ls3P0KT
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.