2019 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තීරණාත්මක මොහොතේදී ලබා දුන් තීරණය හේතුවෙන් නවසීලන්තයට ලෝක කුසලානය අහිමිව ගිය බව එම සිදුවීමෙන් වසර 5කට පසු පසුගියදා ජගත් විනිසුරු දිවියට සමුදුන් දකුණු අප්‍රිකාවේ මරේ ඉරැස්මස් පවසනවා.
ඒ එංගලන්තයේ The Telegraph පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.
2019 වසරේ එංගලන්තයේදී පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සත්කාරක එංගලන්තය සහ නවසීලන්තයයි.
එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේය.
ලකුණු 242ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට අවසන් පන්දු තුනේදී හිමි වු ඉලක්කය ලකුණු 9කි.
අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවට මුහුණදුන් බෙන් ස්ටෝක්ස් මිඩ්විකට් කලාපයට පහරක් එල්ල කරමින් ලකුණු 2ක් කරා පැති මාරු කරගනිද්දී පන්දුව රැකගත් නවසීලන්ත ක්‍රිඩක මාර්ටින් ගප්ටිල් පන්දුව කඩුලු රකින්නා වෙත යොමුකළේය.
ගප්ටිල් යොමුකළ එම පන්දුව බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව කරා ඇඳි ගියේය.
මෙහිදී ටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන සහ මරේ ඉරැස්මස් ඊට ලකුණු හයක් ලබා දීමට කටයුතු කළා.
ඒ වන විට පිතිකරුවන් දෙදෙනා දෙවැනි ලකුණ සදහා පැතිමාරු මාරු කර නොතිබුණු බවට තහවුරුවීමත් සමග ICC ක්‍රිකට් නීතියට අනුව එංගලන්තයට හිමි වීමට තිබුණේ ලකුණු හයක් නොව ලකුණු පහක් පමණයි.
එය එසේ වූවානම් තරගයේ ලකුණු සම නොවී සුපිරි පන්දුවාර තෙක් තරගයේ තීරණය ඇදී නොගොස් ලෝක කුසලානයේ ජය නවසීලන්තයට හිමිවනවා.
තරගයෙන් පසුදින උදෑසන ”මම උදේ කෑමට යන ගමන් මගේ හෝටල් කාමරේ දොර ඇරියා කුමාර් ධර්මසේනත් එයාගේ දොරත් ඒ වෙලාවේම ඇරියා, ‘ඔයා දැක්කද අපි ලොකු වැරැද්දක් කළා කියලා’ එතකොට තමයි මට ඒ ගැන දැනගන්න ලැබුණේ.
”ලෝක කුසලානය පැවැති සති හතේදී මගේ අතින් සිදුවුණු එකම වරද එය ඉන් මම බොහෝ කලකිරීමට පත්වුණා.” යනුවෙන් මරේ ඉරැස්මස් The Telegraph පුවත් පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
from TODAY NEWS LK https://ift.tt/8k5yY4q
via IFTTT


