මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා A සහ B ආසාදනයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දරුවන්ට බවයි.
මෙම සෘතුමය වසංගත තත්ත්වය වර්ෂා කාලයේදී සහ වසර අවසානයේදී වඩාත් සක්‍රීය වන බවත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පෙර පාසල් සහ පාසල්වල ළමුන් වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර වන බවද ඔහු පැවසීය.
“මෙම රෝගය විවිධ ස්වරූපවලින් මතු විය හැක. බොහෝ දරුවන්ට හදිසි උණ, කැස්ස, උගුරේ අමාරුව, හොටු දියර ගැලීම සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ඇතිවන අතර, ඇතැම් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ, කන් ආසාදන, සයිනසයිටිස් හෝ ඇදුම සහිත දරුවන්ට පපුවේ මහන්සිය වැනි තත්ත්වයන්ද අත්විඳිය හැකිය.”
වෛද්‍ය විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, කුඩා දරුවන්ට වමනය සහ පාචනය ඇතිවිය හැකි අතර, එය ඇතැම් විට විජලනයට හේතු විය හැකි බවයි.
ඇතැම් අවස්ථාවන්හිදී, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකි අතර, වයස අවුරුදු දෙකට අඩු ළදරුවන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට නියුමෝනියාව සහ දරුණු ශ්වසන සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවද ඔහු සඳහන් කළේය.
එබැවින්, දරුවන් තුළ රෝග ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, හුස්ම ගැනීමේ අපහසුතාව, වමනය, ආහාර අරුචිය හෝ අසාමාන්‍ය නිදිමත ගතිය වැනි රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
The post රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qAxdzJN
via IFTTT

