චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් යැවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් ගොවීන් පවසන්නේ, දැඩි වගා හානි සිදුකරන රිළවුන් රට පැටවීමට ගත් තීරණය කාලෝචිත බවය.
නමුත් කිසිදු හේතුවක් නොදක්වා රිළවුන් ලංකාවෙන් පිටතට රැගෙන යාම ඉතා ගැටලු සහගත තත්ත්වයක් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, මහනුවර සහ කතරගම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ''මැකාකා සිනිකා'' (Macaca sinica) විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රිලවුන් ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව කොට්ඨාසයකි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙරට රිළවුන් ගහනය ලක්ෂ 30කි.
වන සතුන්ගෙන් වාර්ෂිකව වගාවට සිදුවන හානිය ප්‍රතිශතයක් ලෙස 40% ක් වන අතර ඉන් වැඩිම බලපෑම් සහිත සත්ත්ව කොට්ඨාසය වන්නේ ද රිළවුන් ය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය ගොවිජන සංවර්ධන බලප්‍රදේශ ආශ්‍රිතව කළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ බලප්‍රදේශ 110ක වගාවන් රිළවුන් පූර්ණ වශයෙන් හානි කර ඇති බවය.
බලප්‍රදේශ 235ක උග්‍ර හානි කර ඇති අතර බලප්‍රදේශ 155ක වගාවන් අර්ධ වශයෙන් රිළා හානියට ලක්වී තිබේ.
පොල් ත්‍රිකෝණයට බරපතළ වශයෙන්ම හානි කරන සත්ත්ව කොට්ඨාසය වශයෙන්ද රිළවුන් හඳුනාගෙන ඇත.
2022 වසරේදී පමණක් පොල්ගෙඩි මිලියන 180ත් 200ත් අතර ප්‍රමණයක් රිළවුන් විසින් විනාශ කර ඇති බවද එම වාර්තාවල සඳහන්ය.
ඇතැම් ජනතාවට රිළවුන් නිසා තම ගම්බිම් පවා අතහැර යෑමට සිදුවූ අවස්ථා ද ඇති බව ගොවීන් පවසයි.
මෙවැනි පසුබිමක මෙරට රිළවුන් ලක්ෂයක් පමණ චීනයේ සත්වෝද්‍යාන වෙත ලබාදෙන්නැයි චීන නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.
මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකරන පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ, හේතුවක් නොදන්වා මෙම සත්ත්ව කොට්ඨාසය රැගෙනයාම ගැටලු සහගත තත්ත්වයක් බවය.
මේ පිළිබඳ පවතින නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට අදාළ සියලු පාර්ශ්වවල සහභාගීත්වයෙන් කමිටුවක් පත්කිරීමට අදාළව කැබිනම් මණ්ඩලයට ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.


