Loading..

සජිත් කෝටි 112යි! නාමල් 20,000යි! ප්‍රධාන අපේක්ෂකයින් ජනාධිපතිවරණයට වියදම් කළ මුදල මෙන්න!

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ මෙරට ක්‍රියාත්මක වූ පළමු ජනාධිපතිවරණය බවට පත් වූයේ 2024 ජනාධිපතිවරණයයි.

ඒ අනුව එම නියාමනය අනුව ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැය කළ හැකිව තිබූ මුදල රුපියල් 109 ක්.

එම නියාමනයට අනුව එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් එකසිය අසූහය කෝටි අසූ දෙලක්ෂ අනූඅටදහස් පන්සිය අසූ හයක (1,868,298,586) මුදලක් වියදම් කිරීමට අවස්ථාව සැලසුණා.

අදාළ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් 35 දෙනෙකු සිය වියදම් වාර්තා ලබාදී තිබුණා.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඊයේ(24) ප්‍රසිද්ධ කෙරුණු අතර එම මැතිවරණයේදී වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

එම මුදල රුපියල් කෝටි 112 කට අධික වන අතර ඔහු අපේක්ෂකයා ලෙස ඔහු වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 93 ක් වන අතර සමගි ජන බලවේගය පක්ෂය ඔහු වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 19 කි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක වූ පළමු ජනාධිපතිවරණය වන්නේ 2024 ජනාධිපතිවරණයයි.

එහිදී ඔහු රුපියල් අනු තුන් කෝටි හැට දෙලක්ෂ පනස් අට දහස් පන්සිය විසි හතරක් (936,258,524) අපේක්ෂකයා ලෙස වැය කර ඇති අතර, ඉන් ප්‍රචාරණ හා පුවත් පත් දැන්වීම් නිර්මාණය, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ප්‍රවර්ධන කටයුතු රුපියල් එකලොස් කෝටි අසූ හතර ලක්ෂ අනු අට දහස් හටසිය තිහයි සත හැට පහක් (118,498,630.65) වැය කර තිබෙනවා.

එමෙන්ම සමගි ජන බලවේගය සිය අපේක්ෂකයා වෙනුවෙන් රුපියල් දහ නව කෝටි හතලිස් ලක්ෂ අසු හත් දහස් හත්සිය පහලොවයි සත හතරක් (194,087,715.04) වියදම් කර ඇති බවට අදාළ වාර්තාවේ සඳහන්.

එම පක්ෂය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පුවත් පත් දැන්වීම්, සමාජ මාධ්‍ය සහ ඩිජිටල් ප්‍රවර්ධන කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් හත්කෝටි විසි දෙලක්ෂ අනු තුන් දහස් හාරසිය අසූ පහයි සත දහසයක්. ( 72,293,485.16)

මේ අතර මෙවර ජනාධිපතිවරයා බවට තේරි පත් වූ අනුර කුමාර දිසානායකද සිය වියදම් වාර්තා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු වියදම් කර ඇත්තේ රුපියල් 68,066.36 ක් පමණක් වන අතර එම මුදල සන්නිවේදන කටයුතු වෙනුවෙන් දැරූ බව එහි සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුම් වලට ලැබුණු ආධාර ද ඇතුළුව දෙස් විදෙස් ප්‍රජාවගෙන් ලැබුණු කෝටි පනස් තුනකට අධික මුදලින් (535,763,805.12) රුපියල් පනස් දෙකෝටි හැත්තෑ නව ලක්ෂ අනු නව දහස් අටසිය අසූ නවයයි සත තිස් අටක් (527,999,889.38) ඔහුගේ මැතිවරණ කටයුතු සඳහා වියදම් කර තිබෙනවා.

පුවත්පත් දැන්වීම් නිෂ්පාදනය, ප්‍රචාරණය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ රුපියල් තුන්කෝටි හැට ලක්ෂ දෙදහස් අටසිය අසූ පහයි සත දහ අටද (36,002,885.18 ) ඊට ඇතුළත්.

එමෙන්ම ස්වාධීන අපේක්ෂකයින් අතරින් මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.

ඔහු වියදම් කර ඇති මුදල රුපියල් අනු නව කෝටි තුන්ලක්ෂ විසි හත්දහස් හයසිය අසූ හතයි සත දහසයක්. (990,327,687.16)

ඒ අනුව ඔහුගේ ඩිජිටල් මාධ්‍ය කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් දස කෝටි හැත්තෑ එක් ලක්ෂ දොලොස් දහස් නවසිය තුනයි සත පනස් තුනක් (107,112,903.53 ) ලෙස සඳහන්.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී සිව් වැනි ස්ථානයට මනාප ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කර ඇත්තේ රුපියල් 20,000 ක් පමණක් බවට සිය වියදම් වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

එම මුදල ද වියදම් කර ඇත්තේ ලිපි ද්‍රව්‍ය සඳහා පමණයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමල් රාජපක්ෂගේ විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් දෙකෝටි තිස් එක් ලක්ෂ හතලිස් හතර දහස් නවසිය අසූ හතක් ඇතුළුව (23,144,987), වියදම් කර ඇති සමස්ත මුදල රුපියල් තිස් අට කෝටි අසු නව ලක්ෂ තිස් නව දහස් අසු පහක්. (388,939,085)

විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය සඳහා වැය කළ රුපියල් දෙකෝටි තිස් එක් ලක්ෂ හතලිස් හතර දහස් නවසිය අසූ හතක මුදල ද ඊට ඇතුළත්. (23,144,987)

මීට අමතරව සෙසු අපේක්ෂකයින්ග්ගේ වියදම් වාර්තාද ජනතාවට පරිශීලනය කළ හැක.

The post සජිත් කෝටි 112යි! නාමල් 20,000යි! ප්‍රධාන අපේක්ෂකයින් ජනාධිපතිවරණයට වියදම් කළ මුදල මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rX8m9Vq
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.