Loading..

සිසුවියන් දස දෙනෙකු අපයෝජනය කළ උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක් අත්අඩංගුවට

කුරුණෑගල නගරයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් දසදෙනකුට ලිංගික අතවර කළැයි චෝදනා එල්ල වූ එම ආයතනයේ හිමිකරු හා විදුහල්පතිවරයා කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ආයතනයේ හිමිකරු වන සැකකරු කුරුණෑගල ජයන්තිපුර පාර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක දෙදරු පියකි. අපයෝජනයට ලක්ව සිටින සිසුවියන් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට පැමිණ මෙහි නේවාසිකව අධ්‍යාපනය ලැබූවන් බව පොලිසිය පවසයි.

සිසුවියන් විසින් තමන් මුහුණ පා සිටින අතවර සිද්ධීන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (22) සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එහි නේවාසිකව සිටින වයස අවුරුදු 15 ත් 18 ත් අතර වයසේ සිසුවියන් පිරිසක් අතවරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.

කුරුණෑගල උඩවල්පොළ මාර්ගයේ පවත්වාගෙන යන මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් වන සිසු සිසුවියන්ට මුදලට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් නේවාසිකව අධ්‍යාපනය ලබාදී ඔවුන් රජයේ විභාග සඳහා ඉදිරිපත් කිරීමේ පදනම යටතේ පවත්වාගෙන යන ආයතනයකි.

මෙම අධ්‍යාපන ආයතනය තුළ සිසුවියන් පමණක් නේවාසිකව සිටින අතර සිසුන්ට වෙනත් ස්ථානයක නේවාසික පහසුකම් සපයා ඇති බව පැවසේ. බාලිකාවන් පමණක් රඳවා සිටින නේවාසිකාගාරයක ආරක්ෂාවට පාලිකාවන් අනිවාර්යයෙන්ම සිටිය යුතු වුවද මෙම ස්ථානයේ බාලිකාවන් පාලනය ඇතුළු සියලුම කටයුතු සිදුකර ඇත්තේ සැකකරු විසින් බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත. එම ස්ථානයේ සිසුවියන් 25 දෙනකු අධ්‍යාපනය ලබමින් සිට ඇත.

අධ්‍යයන කටයුතු සිදු කරන අවස්ථාවලදී මෙන්ම රාත්‍රි කාලයේදීද මොහු සිසුවියන්ගේ අඟපසඟ අතපත ගාමින් ඔවුන්ව ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයිද අනාවරණය වී තිබේ. මීට අමතරව තම මෝටර් රථයේ නංවාගෙන විවිධ අධ්‍යයන කටයුතු සඳහා බව පවසමින් රැගෙන යමින්ද ඔවුන් සිසුවියන් අපයෝජනයට ලක්කර ඇති බවද අනාවරණය වී තිබේ.

එසේම සිසුවියන් පිරිස මොහුගේ පහරදීමට ලක්ව ඇති බවත් ඉන් එම සිසුවියන්ට තුවාලද සිදුව ඇති බවත් පසුගිය වසරේ දෙසැම්බර් මස සිට මේ දක්වාම සැකකරු විසින් සිසුවියන් අපයෝජනයට ලක්කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු මීට පෙරද මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙවැනිම අධ්‍යාපන ආයතනයක සේවය කරමින් සිටියදීද එහි සිටි සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි අයකු බව පැවැසේ.

සිසුවියන් පිරිස ඊයේ (23) වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතව තිබුණු අතර කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් යන නිලධාරීන්ගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම කොබ්බෑවල, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පලාල් යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

(ssource – aruna)

The post සිසුවියන් දස දෙනෙකු අපයෝජනය කළ උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙක් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/a4Jq5E9
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.