ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
ඒ, ඉස්ලාමාබාද් නගරයේදී පළමු එක්දින තරගය ආරම්භවීමට විනාඩි කිහිපයකට පෙර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට පසු, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආරක්ෂක කරුණු සලකා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලීමක් කළ හෙයිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, මෙම ඉල්ලීම ඊයේ (12) උදෑසන කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් තමන් වෙත දැනුම් දී ඇති බවය.
ඒ අනුව ආයතනය ක්‍රීඩකයින් සමග වහාම සාකච්ඡා පැවැත්වූ බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) හා අදාළ ආරක්ෂක අංශ සමග නිරන්තර සම්බන්ධතාවයක සිටින බවත් නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
ඒ අනුව තරගාවලිය සැලසුම්කළ පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සියලු ක්‍රීඩකයින්ට, කණ්ඩායම් කළමනාකාරිත්වයට සහ සහායක කාර්ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කෙසේ වෙතත්, නියෝග නොතකා ඕනෑම ක්‍රීඩකයෙකු හෝ කණ්ඩායම් සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට තීරණය කරන්නේ නම්, තරගාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අදාළ ආදේශක ක්‍රීඩකයින් යවනු ලබන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.
අවසානයේ, නියෝග උල්ලංඝනය කරමින් මෙරටට ආපසු පැමිණෙන ඕනෑම ක්‍රීඩකයෙකු හෝ කණ්ඩායම් සාමාජිකයෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සහ සුදුසු පියවර ගැනීම සඳහා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇත.
The post පාකිස්තාන සංචාරය අතරමැද යළි ලංකාවට පැමිණීමට සැරසුණු ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රතු එළියක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/uE7KFXN
via IFTTT

