Loading..

බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රයෙන් වෙනත් කාන්තාවක් ඉතාලි ගෙනියන්න දැඟලූ හාදයා මාට්ටු

තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන, වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දීයි මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙම සැකකරු ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැඟවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක් ද සමග ඉතාලිය වෙත පිටත් ව යාම සඳහා අද දහවල් 01.45 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානයට පිවිසීමටයි පැමිණ ඇති බවට වාර්තා වන්නේ.

එහිදී මෙම පවුලේ ලියකියවිලි නිෂ්කාශනය කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳ ව ඇති වූ සැකය මත, මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවල දී සහ සිදු කළ මූලික විමර්ශනවල දී මෙම කුඩා දරුවා, මෙම සැකකරුගේ වුව ද, මෙම කාන්තාව ඔවුන්ගේ පවුලේ බිරිඳ හෝ මව නොවන, වෙනත් පරිබාහිර කාන්තාවක් බවටයි.

මෙම පුද්ගලයා මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය ද රැගෙන පැමිණ, එයට කටුනායක ගුවන් තොටුපොළෙහි ආගමන විගමන මුද්‍රාව, ව්‍යාජ ලෙස සකස් කර, එය තබාගෙන ඇති බවටයි.

එම ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කර ඇති අතර, මීට පෙර අවස්ථාවක දී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදාගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බවට ද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත් සිදු කළ විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

ඒ අනුව මොවුන් තිදෙනා ආගමන විගමන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.(madyawediya)



from TODAY NEWS LK https://ift.tt/yRn4q7s
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.