Loading..

චන්ද්‍රිකා නිල නිවාස බාර දෙන්න කල් ඉල්ලයි

සිය නිල නිවාසයේ මාස දෙකක කාලයක් සිටීමට ඉඩ ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නිතීඥ සමාගමක් හරහා ලිපියක් එවා තිබෙන බවත්, ඇතැමුන් නිල නිවාසවලින් ඉවත් වූවත්, තවමත් භාණ්ඩ බාරදී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මාධ්‍යවේදියා – හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවලට මොකද කරන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ පිහිටි සිය කාල්ටන් නිවසේ පදිංචියට ගියා. ඔබතුමා පසුගිය පෙබරවාරි මාසයේදී කිව්වා ඔහු සිටි විජේරාම නිල නිවසේ තක්සේරු කුලිය රුපියල් ලක්ෂ 46 ක් කියලා. එම මුදල ආණ්ඩුවට උපයා ගැනීමේ හැකියාවක් තිබෙනවාද.

ඇමැතිවරයා – මේ නිල නිවාස වල හිටපු සමහර අය 1994 වසරේ ඇමැති කෙනෙක් වෙලා එතැන් සිට ඉන්නවා රජයේ නිවාසයක. ඊට පස්සේ අගමැති වෙලා ඉන්නවා රජයේ නිවාසයක. ආයේ පොඩි කාලයකට විපක්ෂ නායක වෙලා ඉන්නවා රජයේ නිවාසයක. ජනාධිපති වෙලා ඉන්නවා රජයේ නිවාසයක. අවුරුදු 10 ක් ජනාධිපති වෙලා හිටපු ජනාධිපතිවරයා ලෙස රජයේ නිවාසයක ඉන්නවා. ඉතින් අවුරුදු 31 ක් රජයේ නිල නිවාසවල මේ ඉඳලා තියෙනවා. මේ නිවාසවලින් යන්න බෑ කියන්නේ මේ අයයි. මම හිතන්නේ මේ ඔක්කොටම රජයේ ගෙවල් තිබෙනවා. මේ අයගේ දරුවෝ, දරුවන්ගේ දරුවන් ඉපදිලා තියෙන්නෙත් මේ ගෙවල්වල. මේක ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. අපට ජනවරමක් දීලා තියෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. පොදු නීතිය අනුව වර්තමාන ජනාධිපතිවරයාටත් ඒ දේවල් අහිමි වෙනවා.

මාධ්‍යවේදියා – මේ නිවාසවලින් මුදල් උපයා ගන්නේ කෙසේද. සැලැස්මක් තිබෙනවාද.

ඇමැතිවරයා – රජය මෙම නිල නිවාස ආර්ථික ලෙස ඵලදායි කටයුතුවලට යොදා ගන්නේ කෙසේද යන්න සම්බන්ධව අවධානය යොමු කරනවා. දැනටමත් විශාල මුදලක් ගෙවන රාජ්‍ය ආයතන මේ දේපොළ භාවිතයට දෙන්න කියලා ඉල්ලා තිබෙනවා. අපි ඒ ගැන තීන්දුවක් තවම ගෙන නෑ. භාණ්ඩාගාරයට වාසියක් එන තීන්දුවකට යන්න සූදානම්.

The post චන්ද්‍රිකා නිල නිවාස බාර දෙන්න කල් ඉල්ලයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dVIF9vg
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.